Saturday, August 25, 2012

දින කිහිපයකට පසු ගෙදර ආවෙමි...




මිනිසුන් තමා ජිවත් වන පරිසරය හා ඉතාම තදින් බැදි පවතී. එසේ වන්නේ කුමන හේතුවක් නිසාදැයි ඇත්ත වශයෙන්ම සනාථ වී නැතත් මිනිසා තමා ජිවත් වන පරිසරය කෙරේ මානසික වශයෙන් බැඳි සිටියි. තමා ජීවත් වන පරිසරය කෙරේ කොතරම් බැඳිමක් තමා තුළ තිබෙනවා දැයි දැනෙන්නට නම් කෙනෙක් සිය හුරුපුරුදු පරිසරයෙන් වෙන්ව විසිය යුතුය. පසුගිය කාලයේ  දිගටම නිවසේම රැඳි සිට පහු වුණු දින කිහිපයේ නිවසෙන් බැරව සිටි දින කිහිපය මේ  ලිපිය ලියන්නට හිත හැදුවේ ය.
 ගෙදරින් පිටව සිටි දින කිහිපය මා ගත කලේ පාළුවෙන් වුවත් ඒ දින කිහිපය මට වෙහෙසකර උනේ නම් නැත. ගෙදර කියා මා ගොඩ ගසා ගත් මහා දෙයක් නොතිබුණි. එහෙත් එහි තිබු දෙයකුත් විය. ඒ අර කී බැඳිම වෙන්නට ඇත. ගෙදරින් බොන වතුර ටික රසය...  පුංචිම බත් කටකුත් රසය... ගෙදර නිකම්ම උන්නද කමක් නැත. එහෙත් වෙන තැනක නොහැක. මා නිවෙස් ගණනාවක ජිවත්ව ඇත්තෙමි. පාසල් කිහිපයක ඉගෙන ගෙන ඇත්තෙමි. මට බැඳුනු අවකාශය ගැන සිතිම සංකිර්ණ වන්නේ ඒ නිසා වන්නට ඇත. මා සිහින දකින්නේ කලාතුරකින් නිසා මට හීන වල පසුබිම ගැන පුද්ගලික අත්දැකිම් නැත. ඒ නිසා බොහෝ අයට මෙන් පුංචි කාලයේ උන් නිවසක් පසුබිම් කරගත් සිහින මා දැක නැත. පාසල් ජිවිතය ගැන  ආයේ යාමට ආසාවක් නැති මිනිසුන් අතර මම ද වෙමි. පාසල් සේරම තුළ මට ඇත්තේ පුංචි මතක පෙළකි. කලක් පංතියේ කොනේ උන් අන්තීමයා ලෙසත් කලක් පංතියේ ඉදිරිපසම අසුනේ උන් පලමුවැනියා ලෙසත් මට ද්විත්ව අත්දැකිම් ඇත. ගුරුවරුන්ගේ අප්‍රියජනකම සිසුවාගේ සිට ප්‍රියජනකම සිසුන් අතර කෙනෙක් වීම පිළිබඳ කියන්නට මහා දේ නැතත් බලවතා කෙරේ දුබලයාව තවත් පසුබස්සවන ගුණයක් ඇති කරනු ලබන්නේ ඒ අවකාශය ඒ  ඒ අවස්ථාවේ නියෝජනය කළ අය විසින් යැයි මා සිතමි. මා උන් පරිසරය අප්‍රියජනක කරන්නටත් ප්‍රියජනක කරන්නටත් කාලයත් අවකාශයත්මට බලපෑම් කර ඇත. මේ නිසා මගේ ජිවිතයේ ලස්සනම දවස් ඇත්තේ නිවසේ ගෙවු කාලය තුළයි.
 මිනිසුන් විපත්දායක පරිසර තුළත් ජීවත් වන්නේ මේ දමා යා නොහැකි බැඳිම නිසාවෙන් ය. මිනිසා තමා බැඳි අවකාශයකට ප්‍රේම කරන්නේ මහා මානව සමාජයක් තුළ ඔහු හුදකලා වන නිසාද? දහසක් මැද තනිවන මිනිසුන් ගැන මා දනිමි. මාත් එවැන්නෙක්ව සිට ඇත. ගෙදරින් පිට ගෙවු රෑ කාලයන් ඇත්තේ අල්පයකි. ඒ අතුරින් එක්තරා පර්යේෂණ කාර්යක් සඳහා ‍අගනුවරට ආසන්න තදාසන්න ප්‍රදේශයක පුද්ගලික පාසලක දින කිහිපයක් මිතුරන් සමඟ ගෙවු කාලයේ මට ද දහසක් අතර තනිවීම දැනිනි. බිය සමඟ නොනිදා පහන් කළ අත්දැකීම් මට අමතක නොවේ. මට හුරු මගේ අවකාශයෙන් මිදීම මා හොදින් ම අත්වින්දේ වසර ගණනාවකට පසු උපන් ගම දකින්නට ගිය ගමනේදීය. මා ගමට ආදරය කළ වගක් මා එදා වන තුරු දැන උන්නේ නැත. ගම දකින විට මට හැමවිටම මහ අමුතු හැඟිමක් දැනීම නතර වුයේ විශ්ව විද්‍යාලයේ සිටි කාලයේ ය. ගම දැන් මගේ නොවේ කියා මට සිතුණු දවසක් ආවේය. දැන් මට ගමක් නැත.
 එහෙත් ජිවත් වන තැන , විශේෂයෙන් ම මට මගේ පොත් මේසය නැති පාළුව මකා ගන්නට අමාරුය.  විශ්ව විද්‍යාල ගමන නතර වී දැන් අවුරුද්දකටත් කිට්ටුය. එත් මා ගෙදර ඉන්නේ නම් පැය විසිහතරෙන් දොළහකට වඩා ගෙවන්නේ පොත් මේසය ළඟ ය. සමහර විට කියවන පොතක් ද  නැත. හොඳයැයි කියත හැකි පොත් මා කියවන්නේ ද නැත. මා කියවන්නේ ඉතාම සරල කෘති පමණි. ඒවාත් මා මිල දී ගන්නේ ඉතාම කලාතුරකින් ය. මගේ අවකාශය ගෙදරින් කාමරයට හිර වී ඇති බව තවත් සිතද්දි මට දැනේ. යුවතියකගේ කාමරයක නොතිබිය යුතු තරම් අපිළිවළකින් පිරි ඇති මේ කාමරය පහුගිය අඩ දශකය තුළ මා වැඩිම කාලයක් ගත කළ තැන ය.  එහෙත් මා ඒ ජිවිතයට ආසා කරමි. නිවසින් පිට ගත කල දින දෙක තුනක ගමන දිර්ඝ චාරිකාවක් කලේ ඒ පිට ගත කළ කාලය විසින් නොව මගේ නිවසෙන් මා දුරස්ථව සිටි කාලයයි. නිවසට ලඝුව කාලයත් අවකාශයත් මෙසේ අභිසරණය වන විට අද්දැකිම් හිඟවන්නේත් ඒ නිසා ම ජිවිතය කෙටි වන්නෙත් නිරායාසයෙනි. මම ද අත්දැකිම් හා අත්විදීම් ඌනතාවයෙන් පෙළෙමි. ජිවිතයේ සැලකිය යුතු අඩක් ම ගෙවි ඇතත් මා ලද අත්දැකිම් ඇත්තේ ටිකකි. අත්දැකිම් වලින් ජිවිතය මැන්නොත් මාගේ ජිවිතය කෙටිය. දින නවදාහකට අත්විදිය යුතු සමහර දෑ මට මඟ හරෙන්නට ඇත. එත් මගේ ජිවිතය ගැන කතාවක් ඇත... මා තවදුරටත් එය ගොඩනඟමින් සිටිමි. තවත් දින නවදාහක් ගතවු තැන මාගේ කතාව බොහෝ දුරට ලියවි තිබෙනු ඇත. එත් ඒ කතාව නවකතාවක් නොවී කෙටි කතාවක් වනු ඇත.
පිටතට ගොස් අත්දැකිම් ලබා ගන්නවාට වඩා නිවසේ ඇතලත ජිවිතය මට නිදහස්ය. කුමන හෝ තලයක ඇති  සරල සිනමාවක් රසවිඳිමින් ගෙට වී ගෙවන දවස  මට සතුටකි.  මට ලියන්නට හිතෙන කාලගුණය වස්සාන සමයයි. ඒ නිසා මේ වැහි කාලයේ සිතුවිලි බොහොමයක් වේ. වෙරළේ රළ සිඹින දෙපා නොගියත් අප ආපස්සට ඉදිරියට යනවා සේ දැනෙන්නා සේ කාලයත් සමඟ අප ද යා යුතුව ඇත නැතිනම් එය අප රැගෙන යනු ඇත. ලබන වැහි කාලයේ මාත් මගේ පවුලේ අයත් මේ නිවසේ  නැත. පුංචි උනත් නගරයට අප අමතක වනු ඇත. එහෙත් මේ නිවසට අමතක නොවනු ඇත. වසර දහයක් තිස්සේ වසා තිබු මේ නිවසට තාත්තාත් මාත් ආවේ පරණ කඩමාළු දෙකක් ඇඳ ගෙනය. ඉළුක් කැන්ද අතරින් අමාරැවෙන් ප්‍රවේශයක් සොයා ගෙන අපි නිවස තුළට ආවෙමු. මට වඩා උස හුඔස් කඩා සති ගණනාවක් තිස්සේ සුද්ධ කර මේ නිවස යළි නිවසක් කරන්නට මා බිත්ති වැලි කඩදාසිවලින් මදිමින් උළු තියමින් කළ යුද්ධය මට අද මෙන් මතකය. වැඩ නතර කරන විට එක්කෝ මා දුවිලි වලින් නාගෙන සිටිමි, නැතහොත් බිත්ති කපා පිටි ගොඩකින් මතු වුවෙකු සේ සිටිමි. අම්බලමක් මෙන් වු මේ ගොඩනැඟිල්ලට අප කොහොම අමතක වන්නද? ජිවිතයේ හැටි... මේ පුංචි බිම ලබන වස්සානයේ දී වෙන කිසිවෙකුට සෙවණ සදමින් සිටිනු ඇත.  



එදාට මා  නිවස කියා වෙනත් තැනකට කියනු ඇත. එදාටත් මා මේ තරම්ම නිවස තුළ හැදි ලොවක මා ජිවත් වනු ඇත. නිවස කොහේ තිබුණද මා ඒ නිවස තුළ මිස ඉන් පරිබාහිරව සිටින්නෙකු නොවනු ඇත. මේ ආසියානු ගැහැණු සිතිවිලි වල පොදු සැකැස්ම දැයි මා නොදනිමි. එහෙත් මට සිතෙන්නේ මෙහෙම ය. දින ගණනකට පසු ගෙදර ආවිට මහන්සිය කොහේ ගියාද නැත... ඒ ‘ගෙදර’ හැටිය. ‍

8 comments:

  1. මේ පෝස්ට් එක කියවගෙන යද්දි මටත් ගෙදර මතක් වුණා... මේ ලෝකෙ අපිට මොන සැප පහසුකම් ලැබුණත් ඒ දේ තියෙන්නේ ‍අපි හැදුන වැඩුන නිවසේ නෙවෙයි නම් එතන ලොකු අඩුවක් තියෙනවා... ඉපදුන දවසේ ඉඳලා හැදුනේ වැඩුනේ තාත්තාගේ සේවාස්ථානයට අයිති නිවසක වුණත් ඒකේ අපේකම තියෙනවා... ඒක කාටත් එහෙම වෙන්නැති.... මේ පෝස්ට් ‍එකෙන් හිතේ හිරවෙලා තිබුන ලොකු කතාවක් කියන්න හැදුවා කියලා තේරුණා... වෛද්‍යවරයෙකුටත් තොටියෙකුටත් වයස එක නම් එකහා සමාන අත්දැකීම් ප්‍රමාණයක් තියෙනවා... ඒත් ක්ෂේත්‍ර දෙකකින්... ඒ නිසා තමන්ට අත්දැකීම් නැති බව සිතමින් තමන්ව අවතක්සේරු නොකල යුතුයි කියලයි මගේ හැඟීම... මට වඩා යමක් රසවත්ව ගලපලා ලියන්න පුළුවන්කමක් ඔබට තියෙනවා. ඒ කියන්නේ ලිවීම ගැන මට වඩා ඔබට අත්දැකීම් තියෙනවා කියන එක. එක එක්කෙනාට තියෙන අත්දැකීම් විහිදෙන්නේ එක එක ක්ෂේත්‍රවලින්. ඒ නිසා බාහිරට පෙන්නන අත්දැකීම අනුව දෙන්නෙක් සසඳන්න බෑ... ඒක එහෙම‍ නේද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අළුත් මල්ලි. මා තවම ඔබ ලියු දෙයක් කියවා නැතත් ඔබම කියනා පරිදි සංසන්දනය කරන්නට බැරි නිසා ඔබට කියන්නට බැහැ මාගේ ලිවීම හොදය කියා. කොහොමත් මට සමාන කෙනෙක් වෙතොත් ඒ මා පමණයි. ඔබටත් එය එසේමයි. අන් කවරෙකුට උනත් එය එසේමයි. අපට බෑ කවුරුවත් වෙන්න ඒ මම මිස වෙන අයෙක් නොවන නිසා. මේ හේතුවෙන් බාහිර හෝ අභ්‍යයන්තර අත්දැකීම් අනුව දෙදෙනෙකු මනින්නට බෑ කියලා මං හිතනවා.අත්දෑකීම් හා අත්විඳිම් වලින් තමයි ජීවිතය ගොඩනැගෙන්නේ. ඒ නිසා මේ ලෝකේ ඉන්න බිලියන හතකට අධික ජනතාවට බිලියන හතකට වඩා අත්දැකීම් හා අත්විදීම් තිබෙනවා. ඒවා සංසන්දනය කරන්න බෑ කියන ඔබේ අදහසට මා එකග වෙනවා.

      Delete
    2. ආයෙමත් මේ පැත්තට ආවා...

      මේ කියන්න යන දේ ඇත්තටම බ්ලොග් කියවන කෙනෙක් විදිහට කියන්න ඕන දෙයක් නෙවෙයි... මේකයි... ඔයාගේ බ්ලොග් එකේ ගොඩක් ලස්සණ ලිපි තියෙනවා... ඕපාදුප අඩු වුණත් තියෙන කවි සංකල්පනා හරිම ලස්සණයි... ඒත් මේහෙම බ්ලොග් එකක් තියෙන බව දන්න පිරිස අඩුයි නේද? කමෙන්ට් අඩු ඒ නිසා කියලයි මට හිතෙන්නේ... එතකොට මේක ලොකු පුස්තකාලෙක හංගලා තියෙන ‍ගොඩක් වටින පොතක් වගේ... වටින දෙයක් හංගලා තියෙන එක හරිම අපරාධයක්... මගේ බ්ලොග් එකටත් ඇවිල්ලා කමෙන්ට් කරන්නේ දෙතුන් දෙනෙක්....ඒත් ඒ අය ආයෙමත් මගේ බ්ලොග් එකට ගෙන්න ගන්න මම උත්සහා කරනවා... ඒ කියන්නේ එයාලගේ බ්ලොග් සයිට් එකට ගිහින් කමෙන්ට් එකක් දාලා එනවා...එතකොට ආයෙමත් එනවනේ...ඉතින් ඒ දේ ඔයාත් කරානම් කාටත් ඔයාගේ නිර්මාණ රසවිඳින්න අවස්ථාව ලැබෙයි...

      සමහරු ඉන්නවා තමන්ගේ බ්ලොග් අඩවියේ තියෙන දේවල් වැඩිය ප්‍රසිද්ධ කරන්න අකමැති අය. ඉතින් ඔයත් ඒ වගේද දන්නෑ... ඒ නිසා මීට වඩා මොකුත් මම කියන්න යන්නේ නෑ මේ ගැන... තව මොනාහරි කයනවද කියන එක තීරණය වෙන්නේ මේ කමෙන්ට් එකට ඔයාගෙන් ලැබෙන ප්‍රතිචාරය අනුව...

      මම ආයෙමත් කියන්නේ මේ‍ දේ කියන්න මට අයිතියක් නෑ... ඒත් මේ බ්ලොග් එකේ තියෙන දේවල් ගොඩක් වටිනවා කියලා හිතුණා... ඒ නිසයි කිව්වේ...

      Delete
    3. ස්තූතියි ඔබට. නැවත ආවටත් අදහස් දැක්වුවාටත්.

      බ්ලොග් කියවන්න කැමති අයට එන්න ඉඩ දීලා තියෙන්නේ සභ්‍යත්වය තුළ සිට අදහස් ඉදිරිපත් කරන්නට අවස්ථාව දීලයි. නැත්නම් මට පුළුවන් ඒක පුද්ගලික කරන්න. කුරුටු ගෑ හිතට එන්න පුළුවන් වගේම අදහස් දක්වන්නත් පුළුවන්. අයිතියක්නෑ කියලා හිතන්න එපා.

      මා කවි කාරයෙක් නොවේ. මා හොදයි කියලා කිව්වේ කෙටි කතාකරණයටයි. නමුත් ඒ මීට අඩදශකයකට උඩදී. දැන් ඒ හැකියාවත් නෑ වගේ. මේ නිසාත් කවිය වෙනුවෙන් ඇති මගේ පරිකල්පණයත්, සතතාභ්‍යාසයත්, ව්‍යුත්පත්තියත් බොහොම අඩුයි. නමුත් කුරුටු ගෑ හිතේ කවි ලියනවා. එයින් මට නිදහසක් සහ විශ්වාසයක් ගොඩ නැ‍ඟෙනවා. තවත් පැත්තකින් මං මගේ භාෂාව හදා ගන්නවා. මට ඕන මගේ ලේඛන ශෛලියක් ගොඩනඟා ගන්න. එහෙම බලනකොට මේක පරික්ෂණයක්.

      මං, මේ කියවන පිරිස ඇති කියලා හිතන කෙනෙක් තමා. මා ප්‍රධාන වශයෙන් ලියන තවත් බ්ලොග් එකක් තියෙනවා. ඒකේ පහළ තියෙන ගැජට් ටික බැළුවාම පේනවා මං එන යන හැම කෙනෙක් ගැනම උනන්දු වෙනවා කියලා. කුරුටු ගෑ හිත කියන්නේ එහෙම තැනක් නොවේ. සොයන්නාට සම්බවෙන තාලේ තැනක්. ඔබ කියනවා නම් වටිනවා කියලා ඒ වගේ වටිනා කමක් මා කුරුටු ගෑ හිතෙන් බලාපොරොත්තු වෙන්නේත් නෑ. ඒ වගේ ඔබ ඇහුවොත් මං මොනවාද මේ බ්ලොග් එකෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා. සත්තකින්ම මුකුත් ම නෑ. මං මගේම සිතුවිලි වලින් නිදහස් වෙන්න හරි ආත්මාර්ථකාමී විදිහට භාවිතා කරන මට අනුව සභ්‍යත්වය කියන රාමුවක් සහ මම කියන සීමාවක් තුළ විහිදෙන සිතුවිලි ප්‍රකාශනයක්.

      එහෙම බලද්දි ඇත්තටම අළුත් මල්ලි මං කිසිවෙකු මෙහි ඒවි කියලාවත් කියවාවි කියලාවත් බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒත් එන අය කියන දේ සතුටින් කියවනවා.අනික මට හිතෙනවා කුරුටු ගෑ හිත හරියට නලපාන ජාතකයේ විල වගේ කියලා. ඉතිං මේ විලට ආපු අය ආ සලකුණු තබා ගොස් තිබෙනවා. ඒ අය හැමදාම මේ විලේ අය.

      Delete
    4. ඒකත් අපූරු අදහසක්.... මමත් මගේ බ්ලොග් අඩවියෙන් ලබාගන්න බලාපොරොත්තු වුණ දෙයක් නම් නෑ... ඒත් කවුරුහරි කමෙන්ට් කරලා තියෙනවා දැක්කම සතුටු හිතෙනවා... ඒ දේ ඔයාටත් එහෙමම දැනෙනවා ඇති... මාත් පුළුවන් හැම වෙලාවකම ඇවිත් යන්න එන්නම්...

      Delete
    5. නැවතත් ස්තූතියි අළුත් මල්ලී අදහස් දැක්වුවාට. ආයෙත් දවසක ඇවිත් යන්න එන්න.

      Delete
  2. ලිපයිට වඩා කමෙන්ට් ටික රසවත් වගේ.

    ReplyDelete
    Replies
    1. අදහස් එකතු කලාට ස්තූතියි ධම්මික සඳරුවන්.

      Delete