Saturday, August 25, 2012

දින කිහිපයකට පසු ගෙදර ආවෙමි...




මිනිසුන් තමා ජිවත් වන පරිසරය හා ඉතාම තදින් බැදි පවතී. එසේ වන්නේ කුමන හේතුවක් නිසාදැයි ඇත්ත වශයෙන්ම සනාථ වී නැතත් මිනිසා තමා ජිවත් වන පරිසරය කෙරේ මානසික වශයෙන් බැඳි සිටියි. තමා ජීවත් වන පරිසරය කෙරේ කොතරම් බැඳිමක් තමා තුළ තිබෙනවා දැයි දැනෙන්නට නම් කෙනෙක් සිය හුරුපුරුදු පරිසරයෙන් වෙන්ව විසිය යුතුය. පසුගිය කාලයේ  දිගටම නිවසේම රැඳි සිට පහු වුණු දින කිහිපයේ නිවසෙන් බැරව සිටි දින කිහිපය මේ  ලිපිය ලියන්නට හිත හැදුවේ ය.
 ගෙදරින් පිටව සිටි දින කිහිපය මා ගත කලේ පාළුවෙන් වුවත් ඒ දින කිහිපය මට වෙහෙසකර උනේ නම් නැත. ගෙදර කියා මා ගොඩ ගසා ගත් මහා දෙයක් නොතිබුණි. එහෙත් එහි තිබු දෙයකුත් විය. ඒ අර කී බැඳිම වෙන්නට ඇත. ගෙදරින් බොන වතුර ටික රසය...  පුංචිම බත් කටකුත් රසය... ගෙදර නිකම්ම උන්නද කමක් නැත. එහෙත් වෙන තැනක නොහැක. මා නිවෙස් ගණනාවක ජිවත්ව ඇත්තෙමි. පාසල් කිහිපයක ඉගෙන ගෙන ඇත්තෙමි. මට බැඳුනු අවකාශය ගැන සිතිම සංකිර්ණ වන්නේ ඒ නිසා වන්නට ඇත. මා සිහින දකින්නේ කලාතුරකින් නිසා මට හීන වල පසුබිම ගැන පුද්ගලික අත්දැකිම් නැත. ඒ නිසා බොහෝ අයට මෙන් පුංචි කාලයේ උන් නිවසක් පසුබිම් කරගත් සිහින මා දැක නැත. පාසල් ජිවිතය ගැන  ආයේ යාමට ආසාවක් නැති මිනිසුන් අතර මම ද වෙමි. පාසල් සේරම තුළ මට ඇත්තේ පුංචි මතක පෙළකි. කලක් පංතියේ කොනේ උන් අන්තීමයා ලෙසත් කලක් පංතියේ ඉදිරිපසම අසුනේ උන් පලමුවැනියා ලෙසත් මට ද්විත්ව අත්දැකිම් ඇත. ගුරුවරුන්ගේ අප්‍රියජනකම සිසුවාගේ සිට ප්‍රියජනකම සිසුන් අතර කෙනෙක් වීම පිළිබඳ කියන්නට මහා දේ නැතත් බලවතා කෙරේ දුබලයාව තවත් පසුබස්සවන ගුණයක් ඇති කරනු ලබන්නේ ඒ අවකාශය ඒ  ඒ අවස්ථාවේ නියෝජනය කළ අය විසින් යැයි මා සිතමි. මා උන් පරිසරය අප්‍රියජනක කරන්නටත් ප්‍රියජනක කරන්නටත් කාලයත් අවකාශයත්මට බලපෑම් කර ඇත. මේ නිසා මගේ ජිවිතයේ ලස්සනම දවස් ඇත්තේ නිවසේ ගෙවු කාලය තුළයි.
 මිනිසුන් විපත්දායක පරිසර තුළත් ජීවත් වන්නේ මේ දමා යා නොහැකි බැඳිම නිසාවෙන් ය. මිනිසා තමා බැඳි අවකාශයකට ප්‍රේම කරන්නේ මහා මානව සමාජයක් තුළ ඔහු හුදකලා වන නිසාද? දහසක් මැද තනිවන මිනිසුන් ගැන මා දනිමි. මාත් එවැන්නෙක්ව සිට ඇත. ගෙදරින් පිට ගෙවු රෑ කාලයන් ඇත්තේ අල්පයකි. ඒ අතුරින් එක්තරා පර්යේෂණ කාර්යක් සඳහා ‍අගනුවරට ආසන්න තදාසන්න ප්‍රදේශයක පුද්ගලික පාසලක දින කිහිපයක් මිතුරන් සමඟ ගෙවු කාලයේ මට ද දහසක් අතර තනිවීම දැනිනි. බිය සමඟ නොනිදා පහන් කළ අත්දැකීම් මට අමතක නොවේ. මට හුරු මගේ අවකාශයෙන් මිදීම මා හොදින් ම අත්වින්දේ වසර ගණනාවකට පසු උපන් ගම දකින්නට ගිය ගමනේදීය. මා ගමට ආදරය කළ වගක් මා එදා වන තුරු දැන උන්නේ නැත. ගම දකින විට මට හැමවිටම මහ අමුතු හැඟිමක් දැනීම නතර වුයේ විශ්ව විද්‍යාලයේ සිටි කාලයේ ය. ගම දැන් මගේ නොවේ කියා මට සිතුණු දවසක් ආවේය. දැන් මට ගමක් නැත.
 එහෙත් ජිවත් වන තැන , විශේෂයෙන් ම මට මගේ පොත් මේසය නැති පාළුව මකා ගන්නට අමාරුය.  විශ්ව විද්‍යාල ගමන නතර වී දැන් අවුරුද්දකටත් කිට්ටුය. එත් මා ගෙදර ඉන්නේ නම් පැය විසිහතරෙන් දොළහකට වඩා ගෙවන්නේ පොත් මේසය ළඟ ය. සමහර විට කියවන පොතක් ද  නැත. හොඳයැයි කියත හැකි පොත් මා කියවන්නේ ද නැත. මා කියවන්නේ ඉතාම සරල කෘති පමණි. ඒවාත් මා මිල දී ගන්නේ ඉතාම කලාතුරකින් ය. මගේ අවකාශය ගෙදරින් කාමරයට හිර වී ඇති බව තවත් සිතද්දි මට දැනේ. යුවතියකගේ කාමරයක නොතිබිය යුතු තරම් අපිළිවළකින් පිරි ඇති මේ කාමරය පහුගිය අඩ දශකය තුළ මා වැඩිම කාලයක් ගත කළ තැන ය.  එහෙත් මා ඒ ජිවිතයට ආසා කරමි. නිවසින් පිට ගත කල දින දෙක තුනක ගමන දිර්ඝ චාරිකාවක් කලේ ඒ පිට ගත කළ කාලය විසින් නොව මගේ නිවසෙන් මා දුරස්ථව සිටි කාලයයි. නිවසට ලඝුව කාලයත් අවකාශයත් මෙසේ අභිසරණය වන විට අද්දැකිම් හිඟවන්නේත් ඒ නිසා ම ජිවිතය කෙටි වන්නෙත් නිරායාසයෙනි. මම ද අත්දැකිම් හා අත්විදීම් ඌනතාවයෙන් පෙළෙමි. ජිවිතයේ සැලකිය යුතු අඩක් ම ගෙවි ඇතත් මා ලද අත්දැකිම් ඇත්තේ ටිකකි. අත්දැකිම් වලින් ජිවිතය මැන්නොත් මාගේ ජිවිතය කෙටිය. දින නවදාහකට අත්විදිය යුතු සමහර දෑ මට මඟ හරෙන්නට ඇත. එත් මගේ ජිවිතය ගැන කතාවක් ඇත... මා තවදුරටත් එය ගොඩනඟමින් සිටිමි. තවත් දින නවදාහක් ගතවු තැන මාගේ කතාව බොහෝ දුරට ලියවි තිබෙනු ඇත. එත් ඒ කතාව නවකතාවක් නොවී කෙටි කතාවක් වනු ඇත.
පිටතට ගොස් අත්දැකිම් ලබා ගන්නවාට වඩා නිවසේ ඇතලත ජිවිතය මට නිදහස්ය. කුමන හෝ තලයක ඇති  සරල සිනමාවක් රසවිඳිමින් ගෙට වී ගෙවන දවස  මට සතුටකි.  මට ලියන්නට හිතෙන කාලගුණය වස්සාන සමයයි. ඒ නිසා මේ වැහි කාලයේ සිතුවිලි බොහොමයක් වේ. වෙරළේ රළ සිඹින දෙපා නොගියත් අප ආපස්සට ඉදිරියට යනවා සේ දැනෙන්නා සේ කාලයත් සමඟ අප ද යා යුතුව ඇත නැතිනම් එය අප රැගෙන යනු ඇත. ලබන වැහි කාලයේ මාත් මගේ පවුලේ අයත් මේ නිවසේ  නැත. පුංචි උනත් නගරයට අප අමතක වනු ඇත. එහෙත් මේ නිවසට අමතක නොවනු ඇත. වසර දහයක් තිස්සේ වසා තිබු මේ නිවසට තාත්තාත් මාත් ආවේ පරණ කඩමාළු දෙකක් ඇඳ ගෙනය. ඉළුක් කැන්ද අතරින් අමාරැවෙන් ප්‍රවේශයක් සොයා ගෙන අපි නිවස තුළට ආවෙමු. මට වඩා උස හුඔස් කඩා සති ගණනාවක් තිස්සේ සුද්ධ කර මේ නිවස යළි නිවසක් කරන්නට මා බිත්ති වැලි කඩදාසිවලින් මදිමින් උළු තියමින් කළ යුද්ධය මට අද මෙන් මතකය. වැඩ නතර කරන විට එක්කෝ මා දුවිලි වලින් නාගෙන සිටිමි, නැතහොත් බිත්ති කපා පිටි ගොඩකින් මතු වුවෙකු සේ සිටිමි. අම්බලමක් මෙන් වු මේ ගොඩනැඟිල්ලට අප කොහොම අමතක වන්නද? ජිවිතයේ හැටි... මේ පුංචි බිම ලබන වස්සානයේ දී වෙන කිසිවෙකුට සෙවණ සදමින් සිටිනු ඇත.  



එදාට මා  නිවස කියා වෙනත් තැනකට කියනු ඇත. එදාටත් මා මේ තරම්ම නිවස තුළ හැදි ලොවක මා ජිවත් වනු ඇත. නිවස කොහේ තිබුණද මා ඒ නිවස තුළ මිස ඉන් පරිබාහිරව සිටින්නෙකු නොවනු ඇත. මේ ආසියානු ගැහැණු සිතිවිලි වල පොදු සැකැස්ම දැයි මා නොදනිමි. එහෙත් මට සිතෙන්නේ මෙහෙම ය. දින ගණනකට පසු ගෙදර ආවිට මහන්සිය කොහේ ගියාද නැත... ඒ ‘ගෙදර’ හැටිය. ‍