Friday, September 28, 2012

සංසාරණ්‍යයේ වන්දනාකාරී.



        


     අද සුළඟ දඟය.. වෙනදා මෙන් එය එක දිහාකට ගියා නොවේ. ඔහේ හිතුණු හිතුණු අත විසිර ගියේය... හරියට දඟකාර කෙළි පැටික්කියක් වාගේය. පෙරදා වට අනෝරා වර්ෂාවෙන් බිමට වැටුණු කොළ සේ ම මල් පෙති ද පොළවට ම ඇලි තිබිණි. පොළව තවමත් තෙතබරියම් වී ඇත. සුළඟ මේ දඟ කරන්නේත් ආයේ වැස්සක් වට්ටන්නට ය. ගුප්ත අඳුරක් අවර වසා ගෙන පැතිර තිබිණි. ලේනුන් සුළඟ එක්ක දහ අතේ දුවති. කොහොමත් ලේනුන් රංචුව මේ පරිසය පුරුදු අයට නිකම් ම මතකෙට එන තරම් සුලභය. සියල්ල සමග මැයි මල් පෙතිද සුළඟ එක්ක එතී එතී බිමට වැටෙති. ශේෂ කදු මුදුනට වැටුණු පාර අළුත් පරණ මැයි මල් පෙති වලින් පාවඩ එලා තිබිණි. ඒ පාර මල් පාරකි...එහෙත් මා කවදත් ආදරේ සුදු මල් වලට ය. මා හැමදාකම පුජා කලේ සුදු මල් ය. ඒවා පිවිතුරුය. සිල්වත් ය.
          මම මේ කුඩා කඳු මුදුන දෙස බොහො වර බලා තිබේ. තනිවමත් මා මෙතනට ඇවිත් තිබේ...එහෙත් ඒ හැමවරකස ගිය වරට වඩා අළුත් දෙයක් මා දකිමි. හැම වරම නැවුම් ය. හිත බර වෙන අමුතු හැඟිමක් මට හැමවිටම දැනේ... එහෙත් හැමදාකමත් මම අඩි පාර දිගේ ඉහළ නගින්නට පෙර ඒ දෙස පාමුල සිට බැලීමි... මා පළමු අඩිය ඒ දෙසට තැබුවේ මා අතැති මල් කුඩයට සිනා සෙමිනි.  බලහත්කාරයෙන් කොටට කැපු මගේ කොණ්ඩයත් අර දඟකාර සුළඟට අසුවිය...
          පළමු අඩි දෙකතුන ඉක්ම යන විටම මට ඔහු සිහි විය. එය නිරායාසයකින් සිදුවන්නේ පසුව ආ හැම මොහොතකම මම මෙහි ආවේ ඔහු සමග නිසාය. ඔහු මා හා සිනාසෙමින් අත් අල්ලා නොඅල්ලා ගාණට මේ පාර දිගේ ‍ගොස් ඇත... මේ පාර අප හඳුනයි. සුසුමක් සමඟ හිතට ආයෙත් ආවේ වෛරයකි... මම නිරැවත් දෙපයින් රතුපාට මල් පෙති පැඟීමි. අළුතෙන් බොර පාටට හැරුණු මඩ මගේ පා ඇඟිලි ඉක්මවමින් මතු විය. ඒ තරම්ම හයියෙන් තදින් මගේ දෑස් පියවිණි. ඔහු දුකින් මා දෙස බලා උන්නේය. ඒ ඇස් වල වේදනාවෙන් මිරිකි ගිය බවක් තිබිණි. මගේ ලෝකය වෙනස් කලේ ඔහුය... ඔහු මගෙන් දුරස් වුයේ ද මම මගෙන් දුරස් වුයේ ද ඔහු ඔහුගෙන් දුරස් වුයේ ද ඔහු සැමගෙන් දුරස් වුයේ ද ඔහුගේ ම වරදිනි... එහෙත් ඊට මාද වගකිව යුතු යැයි විටෙක මම ද සිතමි... මම එය දනිමි. පුංචිවට දළු දා වැඩි රූස්ස ‍ගසක් වැනි ආදරයක් හිතේ අතු ඉතිලෑවේ ඔහු මට ඕනවටත් වඩා සමීප වෙද්දීම වගේ ය. කියාගත නොහැකිව හිර වී තිබි එය මගේ හිත ම අරක් ගත්තේ ද ඔහු නොදැනද? මා නොදනිමි. නැතහොත් මා සිත පුරා වැඩෙන ප්‍රේමය ඔහු දන්නවා කියා සිතා සිටියෙමි. නමුත් සමහර විට ඔහු කියු ලෙස එය ප්‍රේමයක්වත් නොව නිකම් ආකර්ශනයකි. ඒකපාර්ශවීය ආකර්ශනයකි. අදත් ඒ වචන වලට මම දැවෙමි...තැවෙමි. ළඟටම විත් එහෙම හදීසියේ එක්වරම දුර යන්නට කොහොම හිත හදා ගන්න ද?
සුදු රෙදි හොරෙක් ලස්සනට පියඹා විත් මට ළඟම ගහක වැසුවේය. ඌගේ මදක් එසවුනු හොට එසේ වී ඇත්තේ ආඩම්බරයෙන් හිස උදුම්මාගෙන ඉන්නා නිසා ය. මම ඌට විරිත්තීමි... ආඩම්බරකම... ඔහු මාව මුලදී දුටුවේත් එහෙමය..
“බිම බලන්ම යනකොට ආඩම්බරකාරීයක් කියලා නේ මං මුලින් හිතුවේ... ”
ලෝකය පෙරලිණි. පසුව, මා අන්තීමට සිතුවේ එහෙමය.. ඔහු ආඩම්බරකාරයෙක් කියාය. හිත රිදිණි... ඇත්තය තවම හිතට දුකය... ඔහු නො ආවා නම්... කිසිවක් නැත... කිසිවක් ම නැත.මල් වට්ටියට රිදෙන්න තරම් මා එය තදින් අල්ලා ගතීමි. දැන් මා සනසවන්නට කිසිවෙක් නැත. ප්‍රේමය මා ;  එය විසින් නොකළ යුතු ආකාරයට හුදකලා කලේය. දගකාරයෙක්... අන්තිමේදී මං ඔහුව සාධාරණි කරණය කලා. එත් ඒ විනිශයන් මටම ඔරොත්තු නොදෙන දවසක මං ඒ දඩබ්බරයාව මට්ටු කලා.
හිත නොසන්සුන්ය.
දැනුත් ඔහු මා සමග ය. මට එය දැනේ. මං හිනා උනා. මට පේනවා ඔහු මගේ වම් පැත්තෙන් මට සමාන්තරව... හරියට එකට ගියාට කවදාකවත් හම්බවෙන්නේ නැති අය වගේ ඇවිදන් යනවා. ඇත්තටම අපි ඇවිද්දේ සමාන්තර මඟක. අපි හම්බුණාට හම්‍බුණේ නැ වගේ. හිතට හරි සැහැල්ලුවක් දැනෙනවා. ඔහු මාත් එක්ක...අපේ සපුරුදු ගමන... ඉස්සර මං පිරුණු මල් වට්ටිය අරන් කන්ද නගිද්දි ඔහු වෙලාවකට ඉඳලා හිටලා ටිකක් පහු වෙනවා.
“ඇයි”
 පස්සේ නම් මං දන්නවා උත්තරේ. එත් හැමදාක ම ඔහු එහෙම නතර වෙන මං එහෙම ම ඇහුවා.
“ඔයා හරි ලස්සනයි”
 ඒ උත්තරේ මගේ හිතේ අදහස් වලට ලොකු ශක්තියක්. ඔහු එහෙම කිව්වම මං හිනා වෙනවා. ඒ හිනාවන් ඔහු රස වින්දා. මට සහතිකයි. මට දැනුනේ සතුටක්... ඒ ප්‍රේමය නොවේ කියා මෙලොව කියනා එකම මිනිසා ඔහුය... ඔහුගේ ඇස්වල මා නිමින් ආලොකයක්... මම දෙපසට දෑත් විහිදුවා කැරකුනෙමි... නිදහස් ය. පැය ගණනක් තිස්සේ මා මේ මල් වට්ටියට මල් කැඩුවෙමි. පාර දිගට සුදු මල් සෙවිමි. මා නෙළු මල් විසිරිණි. එහෙත් සැහැල්ලුව මම කැරකුණෙමි... මුලින් මට පෙන්නේ ඔහු මා වටේ කැරකෙනවා සේය. හිමින් හෙමින් ඔහුගේ අත එසැවිනි.
“එපා... එ..පා”
නොසිතු විටෙක එදා මෙන් ම ඔහු කිවේය.  මා පෙම් කල ඒ බරැති යැයි මා හැම විටම සිතු ඒ අත් මට අයදින තරම් ය. මම සිනාසුනෙමි... හයියෙන් හඩ නඟා සිනාසුනෙමි... මට ම හතිවැටෙන තුරු සිනාසුනෙමි...ඇස් අගින් කඳුලු පනින තුරු මම සිනාසුනෙමි...මේ ග්සපවා මා සමග සිනාසෙති. ඒ තරම් හිතවත්කමක් ගොඩ නැගෙන තුරු අපි මෙහි ආවෙමු... ගියෙමු.
ඉතිරි මල් ටික අතේ තියන් එදා ඔහු මා දුටු තරම් සංසුන්ව යන්නට මා සිතුවෙමි... බොහො වෑයම් කර සිනා වෙන්නට වෙර දරන සිත තද කරගෙනම  යලි ඇවිදින්නට පටන් ගතීමි. අද කන්ද මුදුන මට දුරය...වෙනදාට මා එක හුස්මට කන්ද නැඟ හිස ඔසවා බලන්නෙමි. අද...අද මට වෙලා ගියේ ය...
“ඔයා හරි වෙනස් වෙලා... මං මුලින් දැක්ක කෙනා ඔයාමද කියලා මට දැන් හිතෙනවා”
මට ඒ වචන මතකය... හරියට මගේ පපුව මත  සිහින් තුඩැති පිහියකින් කුරුටු ගාන්නා සේ මට දැනිනි.
“ඔයා ඔච්චර අහිංසක වෙන්න එපා...අද කාලේ කෙල්ලෝ ඔයාට වඩා හුඟක් ඉස්සරහින් ඉන්නේ.. ඔයා හැදෙන්නෙ හරියට දහ අට වෙනි ශත වර්ශේ  ජීවත් වෙච්ච  ගම්බද කුළ පවුලක කෙල්ලක් වගේ”
එහෙම කියා බිදෙන් බිද මා වෙනස් කලේ ඔහු නොවේද? දැන් මා වෙනස් වී ඇතැයි කියන්නේත් ඔහුම ද? මට එවලේ සිතුනේ එහෙම ය... බොහො කලක් මා ගොඩ නැඟු ප්‍රේමය;  ඔහු නොකියන ම තැන, මගේ වදනින් ඔහුට අනාවරණය වෙද්දී ඔහු කියන්නේ එහෙම ය. බිත්තියේ ලස්සනට එල්ලා තැබු කිණිස්ස ඔහුගේ පපුව පසාරු කලේ එහෙම ය. නොසිතු නෙපැතු විටෙක...විශේෂයෙන්ම එසේ කරතැයි සිහිනෙකුදු නොසිතිය හැකි කෙනෙක් එසේ කරන විට ඔහු පුදුම විය... ඒ වික්ෂිප්තයේ පමාව නිසා තවත් අඟලක් හමාරක්වත් කිණිස්ස අර අඳුරු කොණටම යැවිණි. එහි වෙනත් ඕනෑම කෙනෙකුගේ මෙන් මැයි මල් තරම්ම රතු පැහැය මිස ප්‍රේමයක් නොවිණ. ඔහු විශේෂ යැයි මා සිතුවාවට නැත. එසේ නැත...
හිතට දැනුණේ එදා දැණුනු ආවේගයම ය. මම වේගයෙන් කන්ද නැඟිමි. මල් විසිරිණි. මුළු ගතම දහඩියෙන් පෙඟි‍ ගොස් තිබිණි... ටික ටික අවට කළුවර විය.
“ඔ..යා  ඒ.. ඇ.යි..”
ඔහු ඒ කළුවර මැදින් අසණ හඩ මට ඇසේ. ඒ හඩේ වේදනාව කලකිරීම පසුතැවීම ආදි හුඟාක් දේ ඇතැයි මට සිතිණි...බයක් දුකක් ආදි නිරස හැගීම් ගොඩාක් මගේ හිතට කඩා වැටිණි...ඔහු මගේ පසු පසින් ඒ...
එක්වරම මට තවත් කටහඬවල් ටිකක් ද ඇසිණි. ඒ උන්ගේය...මම හැරී බැළුවෙමි. අතිශය විශාල සිලින්ජරයක් කරේ තියාගෙන උන් මා පසු පස දුව ඒ... මම උන්ට විරිත්තා කන්ද මුදුනට දිව්වෙමි... කන්ද මුදණේ මා නතර වුයේ නතර උනේ ඒ  බුදු පිළිමය ළඟය. සිය දහස් වතාවක් පිදු පුජාසනයේ මා වට්ටියේ ගෙන ආ එකම සුදු මල අතට ගතීමි. එහි පෙත්තක් කැඩී තිබිණි. එහෙත් මට ඇත්තේ එපමණය... උන්වහන්සේ හැමදාමත් මා දෙස බැළුවේ සිනාසීය.
“බුදු හාමුදුරුවෝ හිනා වෙනකොට ලස්සනයි.”
දිනක් මා නොසිතාම මගේ කටින් පිටවිණි.
“ඔයා කතා කරන්නේ දැකලා වගේ නේ. මටත් හිතුණා  ළමයා පන්සල් ආව හැටියට තනියෙන් ආවා නම් මෙහේ නතර වෙයි කියලා”
මා කියු කතාව නොකියා ඉන්නට තිබිණි.
“න්නෑ.. දැකලා නම් නෑ තමා. එත් මේ පිළිම වහන්සේ දිහා බලනකොට මට පේන්නේ එහෙම. කොහොමත් උන්වහන්සේ ට හොඳ රෑපයක් තිබ්බා වෙන්න ඕනා නේ. උන්වහන්සේ කුමාරයෙක්..නැද්ද?
“පිස්සු කෙල්ල...ඔහොම හිතන්ද පන්සල් එන්නේ”
“එකේ වැරද්දක් නෑ... මං කිව්වේ ඇත්ත. උන්වහන්සේට  හරි ලස්සන හිතකුත් තියෙන්න ඇති...”  
මම තෙවරක් උන්වහන්සේට වැන්දෙමි. කිසිදා වෙනස් නොවුණේ උන්වහන්සේ විතරය...මම හිත හිතා පමා වු ටිකට උන් ළඟට ඇවිත් ඇත. මම අතැ’ති මල් වට්ටිය අහසට විසී කෙරුවෙමි. නොදන්නා උඩකට කැරකි කරකී ගිය එය අවසානයේ බිම වැටෙන්නට විය. මම ඊට පෙර දිවිය යුතුය.
“වට්ටිය වැටෙන්න කලින් දුවපා..න්...”
සිත කෑ මොර දුන්නේය. කවුදෝ මහ හඩින් ගන්ඨාරය ගැසුවේ ය. මට හිස පුපුරු ගහන වේදනාවක්දැනිණි.  පිත්තල පොච්චියකින් ඔහු හිසට ගසා තුවාල කළ තැන පුපුරු ගසන්නට විය... ඒ හඩ නෑසෙන්න තරම් දුරකට යන්නට මට ඕනෑ විය.
“එපා සද්ධ කරන්න එපා... අර පිස්සි ඇවිස්සේවි... ඕක නතර කරන්න ළමයිනේ..”

  සිරින්ජරය කර තබා ගෙන උන් අය කෑ ගැසමින් මා වෙතට දුවන් ආවේය... දුන් මා අසු වෙනු ඇත. නොහැක...අහු වන්නට බැරිය.. මම ආපසු දුවන්නට ගතීමි. මා ඉදිරීයේ වු ප්‍රපාතයෙන් කෙළවර වන හිස් අවකාශයට මම අඩිය තබද්දී මට සැනසිලි දායක් හැඟිමක් දැනිනි. මට නටන්නට තරම් හිතිණි.
2006/10/18

Thursday, September 27, 2012

මම සොරකමක් කලෙමි... මා අන්සතු දෙයක් මා සතු කර ගතිමි. එහෙත්...

          හුඟාක් දවස් මං බ්ලොග් ලියන්න ගියේ නෑ. මහපොළොවට පොස්ට් එකක් වත් දැම්මේ නෑ. හේතුව සිතිවිලි විසිරීම. හිත එක්තැන් කරන්නයි මං මේ දේ කලේ. හොරකමක් කලාට දැන් මට මගේ පැන්සලය එතරම් කීකරු නැති පවත් මා ඒ  තුළ අනන්‍යතාවක් සොයන බවත් අන්තීමේදී මට වැටහුණා.කොහොම හරි මේ තමා මා සතු සංයමය... භාවනාවක් වගේ ඇඳලා ඉවර වෙන්න පුළුවන් තරම් මං ඒකට ඇබ්බැහි වෙලා හිටියා. තාමත් එහෙම තමා. නමුත් පැන්සලයත් අතත් එකට බද්ධ වෙන්නේ නෑ. එහෙම උනාම හොර කම හරියටම වෙන්නේ නෑ. එහෙම බලද්දී පැත්තකින් මෙය හොරකමක් වෙන්නෙත් නෑ. එත් මං දන්නවා ඒක මගේ අදහසක් නිසා ඇන්දා නොවේ. ඒ පිංතුරයට මට හිත ගියා. මොනාලිසා තරම්ම නැති උනත් ඇගේ ‍සුන්දර දෙතොල මට දුන්නේ මහ වදයක්. මේ සිතුවම ඇතුලේ අදහස් දක්වන දේ අතර ප්‍රධාන වන්නේ ඇගේ දෙතොල්. ඇස් තරම් මං අඳින්න දක්ෂ නෑ දෙතොලක්.  අකීකරු පැන්සල් ඇඟිලි එක්ක මං එතැන පරාදයි. කොණ්ඩය නම් මට  ටිකක් විතර වෙනස් කරන්න ඕන උනා. කොහොම උනත් මං ඒක අන්තිමේ කලා. හැබැයි අන්තීමේදි මං දන්නවා ඉස්සර තරම් නම් බෑ.


 http://boondionline.blogspot.com/2010/11/kavi-boondiya_8046.html මෙතනින් තමා මං ඕක දැක්කේ.

කියන්න ඕන මේකත්. ඔයාට මං කොන්දේසි දාන්නෑ. මේ පහළ තියෙන රෑපය ඔයාට පුළුවන් කොපි කරා ගන්න.(ඕන නම්) ඒත් මතක තියා ගන්න  සැබෑ පැන්සල් පහර ඇත්තේ මා සතුවයි. මේ පරිගණක ගත සෙවණැල්ලක් විතරයි.



මේක ඇන්දේ 09/17 . අඳින්න ගියා පැයක් විතර. අද වෙනකොට මං හිතන්නේ මේක දුර්වලයි කියලා.මේ දෙකම පෝස්ට් කරන්න එක පිටුවකට ගෙනාවට පස්සේ මං හිතන්නේ මගේ සිතුවමේ යුරෝපීය පෘෂ්ටිමත් බව නෑ  කියලා. අනික මුණ තව ටිකක් මහත් වෙලා පහත් වෙන්නත් ඕන. ඒ මුල් සිතුවමේ ඇස් තිබ්බනම් එයා බලන තැන නෙවේ මෙයා ගේ ඇස් තිබ්බා නම් තියෙන්නේ. කොහොම උනත්  අනේක කවි, කතා අස්සේ චිත්‍රයක් තිබ්බට කමක් නෑ කියලා මං හිතුවා. ඒක හංදා ස්කෑන් කරා.