Saturday, March 23, 2013

එක්තරා සිදුවීමක්…

        මේ සිදුවීම ලියා තබන්නේ මට අමතක නොවන සිදුවීමක් නිසාත් මගේ හිතට මෙය වදයක් සේ හැ‍ෙඟෙන නිසාත් ඔබට මෙයින් ගත යුත්තක් ඇතැයි මා සිතන නිසාය.

 

IMG_1015_zpse9be4e4e

 

         මා  දිනක් ඥාති නිවස සිට ගෙදර බලා එන්නට පිටත් උනෙමි. අතර මඟ දුම්රිය මඟක්ද හමුවේ. මෙදින මා ඒ රේල්  පාර අසලට යන විට ම වාගේ රේල් පාරේ ගෙට්ටු වසා දැමිණි. කෝච්චිය එන තුරු නොසිට පයින් ආ ගිය අයත් පාපැදිකරුවනුත් යතුරුපැදිකරුවනුත් ගේට්ටුව නොතකා පාර පැන ගියහ. එහෙත් අම්මා කෝච්චි වලට හේතු විරහිත බියක් දැක්වු බැවින් කෝච්චි ගැන මට තිබුණේ හොදම ආකල්පයක් නොවන නිසාත් මා පාර නොපැන කෝච්චිය යන තුරු නැවතී බලා උන්නෙමි… හිතු හිතු තැන කොච්චි වලට බ්රේක් ගහන්නට බැරිය. ගැහැව්වද ඒවා නතර වන්නේ  ටිකක් දුර ගොස් ය. මා උන්නේ රේල් පාර ආසන්නයේ ම ය. තවත් වාහන කිහිපයක් ම මා නොයෑම ගැන පුදුම වු වග මට මතක තියේ.

 

       දුම්රිය මාර්ගයන් දෙක මැද ඇති තීරුවේ එක්තරා පුද්ගලයෙක් ඉණට අත් තබගෙන සිටගෙන උන්නේ ය. මා සිතුවේ ම මේ මිනිසා රේල් පාරේ වැඩකරන කම්කරුවෙක් කියාය. කෝච්චිය ආවේ වංගුව පැත්තෙනි. කෝච්චියේ හඬ  මතු‍ වෙද්දි ම වාගේ මේ මිනිසා රේල් පාර අතර හිඩැසේ ඉඳගෙන තම කකුළක් ‍පීල්ල මත තැබුවේය. ඔහු සෑහීමකට පත්වන තුරු කකුළ නියමිත ආකාරයට අතින් පවා හැදුවේය… මා බැළුවේ කෝච්චිය දෙසයි.. රියදුරු අනෙකාට සිද්ධිය පෙන්වමින් කර කියා ගත නොහැකි තැනට පත් වනවා මා දුටුවෙමි… ඔවුන්ට කෝච්චිය නතර කර ගන්නට නොහැක.

 

      මා සිද්ධිය වටහා ගත් සැණින් දෙකන් දෝතින් ම වසාගෙන දෑස් පියාගෙන අනෙක් පස හැරුණෙමි… කොච්චිය යන සද්දයට අමතරව ඒ අතරින් දැඩි යමක් උඩින් අඹරාගෙන යකඩ රෝද වලින් පළමුවැන් දෙවැන්න යද්දි අමුතු හඬක් ආ බව මට ඇසිණි… පියවු කණ් වලට ඒ හඬ ඇසුණේ කෙසේදැයි මා නොදන්නා නමුත් මේ සිද්ධිය සත්තකින් ම මා අත්විඳි එකකි. මා අහක බලාගෙන ඒ රේල් පාර පැන යද්දිත් අර මිනිසා කෑ ගැසුවේ වත් කිසිවෙකු ඒ මිනිසා  ළඟට ගියේවත් නැත. එහෙත් ටික දුරක් ගොස් නැවත බලද්දි මිනිසුන් වට වී ඉන්නවා මම දුටිමි. එහෙත් කිසිවෙකු ඒ මිනිසා රෝහලට රැගෙන ගියේ නම් නැත. පසුව දැනගත් පරිදි ඒ මිනිසා විසින් මේ සිදුවීමට පෙරාතුව ත්‍රී රෝද රථයකට ගෙවා රෝහලට රැගෙන යන්නට සැලසුමක්ද කර තිබේ. ඒ මිනිසාව රෝහලට ගෙන ගොස් ඇත්තේ එසේ මිස අනතුර වු තැන රොක් වු අය විසින් නම් නොවේ…

 

      ඒ මිනිසා දුප්පත් මිනිසෙකි. කරනා රැකියාව ජිවත් වීමට නොසැහෙන නිසා හිඟා කෑමට සිතා කෝචිචියට කකුළ තබා ඇත. දැන් කකුළක් අහිමි හේ කෝචියේ හිඟාකෑම වෘත්තිය කොට ගෙන වසයි.

 

       මා මේ සිද්ධිය ලියන්නේ සිදුවීම වී බොහෝ කල් ඉක්ම ගිය කලකදිය… මා ඒ මිනිසාව දකිමි. හේ මටද අතපා සිඟමන් යදියි… මට නැ‍ඟෙන්නේ කෝපයකි… ඔහු මට භයානක සිතුවිලි කිහිපයක් අත්දකින්නට භයානක මතකයක් සිත රඳන්නට හේතුකාරකයා විය. මා සත පහක් හෝ නොදෙමි. ඒ වන් වු කකුළ් අහිමි අත් අහිමි අයට මා සතයක් හෝ නොදෙන්නේ විටක එසේ දෙන්නට තරම්  මට මුදල් නැති නිසාය… බොහෝ විට ඔවුන්ද අර කී ලෙස ව්‍යාපාරික අරමුණින් අතපය අහිමි කරගන්නට ඇතැයි මට සිතෙන නිසාය. මා යනෙන මඟ එවැන්නෝ බොහෝ වෙති. මා ඔවුන් දුටු විට අපුලෙන් ඉවත බලමි. ඒ මට මගේ දෙපා… මගේ අත් වටිනා නිසාය… මගේ අතින්, අත බලේට කෝච්චියට තැබු මිනිසෙකුට කිසි දා වතුරවත් දෙන්නට මට බැරිය… මං මගේ අත්වලට ගරු කරමි… අනෙකෙකුගේ අතක් වුවද එසේය… ඒ අනුව ඒ මිනිසාට ඒ මිනිසාගේ අතට එසේ කරන්නට අයිතියක් නැත.

 

        කවුරුන් හෝ මවක් සිය කුස ඔත් පුතු ගේ පා පහර සිනාවෙන් යුතුව ඉවසන්නට ඇති. කවුරුන් හෝ පියෙක් සිය පුතුගේ පළමු පා සටහන ගැන අභිමානයෙන් බලා ඉඳින්නට ඇති. එවන් වු පාදයක්; තමා ඔසවා ගෙන ගිය හද මියෙන්නට ප්‍රථම, මිය ගිය අරුමය… එවන් මිනිසෙකුගේ වාරුවට හැරමිටියක් වන මිය ගහක් අත්තක් පවා කළ පවට අඬනවා ඇති.

 

          අවයව විකිණිම හා යම් ආකාරයකට නෑ කම් කියන මේ සිදුවීම ඔබට කියන්නේ මිනිසුන් ජිවත් වන්නටය කියා තමන්ගේ ම මස් මාංශ පවා විකුණනා ගන්නා බව තහවුරු කරන්නට පමණක්ම නෙවේ… තවත් එවැනි මිනිසෙක් බිහි කරන්නට අත හිත දෙන්නට සිතෙන්නේ නම් නැවතත් සිතන්න කියා කියන්නටය. 

තවත් අසරණයෙක් ජිවිකාව පිණිස මේ ක්‍රමය තෝරා ගන්නේ ඔබ මෙවැන්නෙක්ට දෙන මුදල් දෙස බලා හිඳිමෙන්ය. අහෝ ජිවිත?

 

පසුව ලියමි;

අදත් කෝච්චියේ යද්දි පෙර දවස දුටුවාට වඩා මෙවන් අත පය නැති අය දැකීමි. ඒ නිසා ලිවීමි…

5 comments:

  1. ඔච්චර දෙයක් කරගන්න හිත හයිය කරගන්න පුළුවන් මිනිහෙක්ට, මොන රස්සාවක් හරි කරලා අතපය බේරගෙන ජීවත් වෙන්න බැරි ඇයි කියලා මට හිතාගන්න බෑ....

    ඇත්ත.. ගොඩක් අය හිඟාකෑමට යොමු වෙන්නේ ඒක හොඳට හම්බකරන්න පුළුවන් රස්සාවක් කියලා දැනගෙන... මේ වගේ වැඩ ගැන දැනගෙන මිනිස්සු හිඟන්නන්ට සතපහකට ගණන් නොගෙන ඉන්න එකෙන්, ඇත්තටම අසරණ මිනිහෙක්ට ලැබෙන දේත් නැති වෙන එකයි වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. මේක කියවද්දි මගේ හිතට ආපු දේවල් ටික සේරම හිරු අක්කියා කියලා නිසා මට කියන්න දෙයක් නෑ,, අතපය හොදට තියෙද්දිත් ඔහොම පාරවල් ගානේ යන්නේ මොන දේටද කියලා තේරෙන්නෙ නෑ,, හ

      Delete
    2. හිරු, ශම්මි ස්තූතියි ප්‍රතිචාරයට ඔයාලා ගේ කල්පනාව හරි. අන්තිමේ කොහොම හරි වෙන්නේ අසරණ මිනිහාටම තට්ටු වෙන එක තමා!

      Delete
  2. ගෑණියෙක් ඉන්නවා රාගම. හෙරෝයින් වලට ඇබ්බැහි වෙච්ච, ඒ ගෑණිගේ මිනිහත් එහෙමයී, කාලයක් දෙන්නත් එක්ක ඔලුව ලොකු ළමයෙක් අරගන කෝච්චියට නැග්ගා.ඊලගට කකුල ඇද ළමයෙක් . ඒ ළමයා අරගන එන්ඩ කලින් බඩක් එක්ක නැග්ගා, සමහරක් විට ඒ ළමයමද දන්න ැ, මේ ලගදි මම දැක්කා තව ලමයෙක් . කොහොමහරි මම දැනට දැකලා තියනවා ඒගෑණි ලමයි දහයක් එක්ක විතර,
    ඇත්තටම උන් දෙන්නට ඉන්නවා දුවක් ඒ ළමයා යන්නේ ඒ මිනිහත් එක්ක. දවසක් අපේ ගෙදරටත් ආවා , ඒ දරුවා ගැන දුක හිතුනත් මම කරන්න ඕන ආගන්තුක සත්කාර අර බූරුවට කරලා ඇරියා.අපේ හාමිනේ නං හොදටම බය උනා . වත්තෙන් එලියට ගිහිල්ලා කියපු එකට

    ''..මම තෝ ගැන රාගමදී බලාගන්නං --යා''

    මම ආයෙත් යන්න හදනකොට අපේ උන්දැ යන්න දුන් නැ

    කාලෙන් කාලෙට එක එක දේවල් කියලා තවමත් උන් දෙන්නා මිනිස්සු රවට්ටනවා,

    අපේ මේ මෝඩ මිනිස්සු

    මම මගේ ඇස්දෙකෙන් දැකලා තියනවා ඒ ගැනීට රුපියල් 500ක් දෙනවා කොල්ලෙක්

    ReplyDelete
    Replies
    1. මාත් ඔය ගෑනු කෙනා දැකලා තියෙනවා. නොදන්න කෙනෙක් දුන්නොත් තමා... පව් ‍ඒ දරැවන්ගේ ජිවිත. උදව් නොකර ඉඳලා අධෛර්යට පත් කරනවා ඇරෙන්න මේ වගේ ජිවිත වෙනුවෙන් කරන්නට දෙයක් නෑ. එත් එහෙම කලාමත් ඒ දැරුවන්ට වෙන්නේ මොනාද කියලා හිතා ගන්න අමාරුයි. මේවා අපේ බලධාරින්ගේ නිදිබර කම... ඒ දරුවන් මෙහෙම දුක් විදින්නේ නෑ එයාලා හරියට වැඩ කරනවා නම්.

      ස්තූතියි ප්‍රතිචාරයට.

      Delete