මං ඊයේ වෙනදා වගේම බස් එකේ එමින් ගමන් කාලයක් තිස්සේ සංයමයකින් ගෙඩනංවන ලද මගේ හැකියාවකින් ප්‍රයෝජන ගත්තා. හැකියාව තමයි “සවන් දීම”. මේක නිසා මං ගොඩාක් දේවල් ඉගෙන ගෙන තියෙනවා. විශේෂයෙන්ම මට අහන්න වඩාත් පහසු මට ඉස්සරහා ඉන්න අයගේ කතා. ඉතිං ඊයෙත් එනකොට ඇන්ටිලා දෙන්නෙක් බර කතාවක්. හෝ ගාලා සායමක් අරිනවා. කාගෙද? එයාලාගෙම දරුවන්ගේ.
“අපි පුංචි කාලේ මුන්ට සැලකුවේ කෙහොමද?”
“එක නේනන්ම් අක්කේ, අපි දරුවන්ට බැළුවට දැන් කාලේ හැදෙන දරුවෝ අපිට බලන්නේ නෑ.”
“අපි උන්ව හැදුවේ නොවිඳිනා දුක් විඳලා උන් අපිව බලා ගන්න ඕනා. කර දඩු උස්මහත් වෙලා ගැනු ගත්තට පස්සේ උන්ට අපිව මතක නෑ.”“දරුවෝ හැදුවට වැඩක් නෑ අක්කේ. ඒ සල්ලි වියදම් කරලා අපිට දෙයක් කර ගත්තා නම් මේ දුක නෑ.”
මේ කතාව අහගෙන එද්දි මට තේරුනා මේ කියන අයගේ දරුවන් විසින් මේ අයව නොසලකා හැර තිබෙනවා. ඒත් ඒ දෙන්නා ඒ වෙනුවෙන් කතා කර දේ ඇතුලේ තමයි මං මේ පෝස්ටුවේ තේමාව ගැන හිතුවේ.
වැඩිහිටියන්ට සැලකීම කොයි තරම් හොදද? දරුවෝ වැඩිහිටියන්ට සලකන්න ඕනා. ඒකේ ආයේ දෙකක් නෑ. එතකොට මේ ලිපියෙන් මං කියන්න හදන්නේ මොකද්ද? දැන් මං මේකෙන් හදන්නේ වැඩිහිටියන්ට සලකන්න එපා කියලා කියන්න නෙමේ.. මං මුකුත් කියන්නේ නෑ.. ඒක පුද්ගලික අදහසක්. කියලා ඔබෙන් යමක් කරවන්න මට බෑ. කොහොම වෙතත් සමාජ ගත මතයක් තිබෙනවා දරැවෝ පුංචි කාලේ වැඩිහිටියන් විසින් රැක බලා ගන්නා නිසාත් දරුවෝ වැඩිහිටියන් වු විට කලින් හිටපු වැඩිහිටියන්ව රැක බලා ගත යුතුයි කියා. මේක සහජීවනය තුලින් ගොඩ නැඟෙන්නක් වුවත් මෙහි රදලයා හා වහලා අතර ඇති සම්බන්ධතාවයක් ඇතැයි මට සිතෙනවා. එහෙම හිතෙන්නේ දරැවන්ට කුඩා කල සැලකු නිසා ඔවුන්ගේ මුළු ජීවිත කාලය පුරාව අර රැකගත් අය රැක ගත යුතුයි කියා කියන නිසා. හරියට වලව්වේ සේවකයෝ වලව්වෙන් කාලා ඇදලා ඉන්න හංදා ජිවිත කාලය පුරාම වලව්වට සේවය කල යුතුයි කියලා කියනවා වගේ… දරුවෝ කියන්නේ වහල්ලු නෙමේ. රක්ෂණාවරණයක් නෙමේ. ඒක ආදරයක්. සෙනෙහසක්. බලෙන් නීති දාලා ඒවා අත්පත් කරගන්න බෑ.
පුංචි කාලේ ආච්චිට සියාට අම්මා තාත්තා සලකන හැටි දකින දරුවෝ නිරායාසයෙන් ඇති කර ගන්න චින්තනයක්. අද දක්නට ලැබෙන න්‍යෂ්ටික පවුල් වලින් අත්පත් කරගන්න බැරි තත්ත්වයක්. අද දරුවෝ දකින්නේ අම්මා තාත්තා එක්ක දරුවෝ විතරක් ඉන්න පවුල්. ඉතිං උන් අම්මලා තාත්තලා උනාමත් උන් ගොඩ නඟා ගන්නේ අර විදිහේ ම පවුල් තමා.
මා හිතන්නේ මේ යුතුයි කියලා පවරන මේ කාර්යය දරුවන් කියන කොටසව සමාජ සම්මත වලින් බැඳ දැමීමක් කියලා. දරුවෝ සලකනවා නම් ඒක උන්ගේ කැමැත්ත. නොසලකනවා නම් ඒකත් උන්ගේ කැමත්ත. නමුත් ‘යුතුයි’ කියා සම්මතයක් හදාගෙන ඒක සදාචාරය කියන ඒක ඇතුලේ දාලා දරු පරම්පරාවන්ගේ කරේ එල්ලන එකත් ඒක පරම්පරාවෙන් පරම්පරාවට ගෙනියන එකත් හරිද? දරුවෝ කියන්නේ අනාගතයේ සුරක්ෂිතභාවය තහවුරු කරන සාධකයක් ලෙස දැකිම ඇත්තෙන්ම කණගාටුදායකයි. අර දෙන්නා දරුවන්ට බනිද්දි මට මතක් උනා අපේ මාමාලාගේ ගෙදර ඉස්සර හිටියා වී කුරුල්ලෝ ජොඩුවක්. මේ දෙන්නා මං එක පාරක් නිවාඩුවට එහෙ යනකොට තමන්ගේ අළුත් කුරුළු පැටවුන්ට පියාඹන්න උගන්නනවා. ටික ටික ගෙනැත් කවලා පොවලා පියාඹන්නත් කියලා දීලා මේ පැටවුන්ට යන්න ඇරියා. සමහර වෙලාවට පැටව් ගියේ නෑ. උන්ට ටිකක් නපුරු වෙන්න උනා එතකොට. සත්ත්ව ලෝකේ මෙහෙමයි. මොන සතාත් තමන්ගේ පැටවුන්ගෙන් යැපෙන්න බලාපොරොත්තු වන්නේ නෑ. එත් අපි අපි සත්තු නෙමේ. ඇත්ත අපි සත්තු නෙමේ. අපේ බුද්ධිය එයිට වඩා උසස්. ඒ නිසා අපි දැන ගන්න ඕනා අපේ ජීවිත හැඩ ගසා ගන්න. මෙහෙම හැඩ ගසා ගත්ත බටහිර ජීවිත නේද අර ලිවින්-ටු-ගෙදර් කියලා නස්පැත්තියක් (?) කරගහගත්තේ? ඇත්ත එයාලා ඒක කරගත්තේ එතැනින් ගහින්. මං එත් අහන්නේ එකම පාරෙන් හැරෙන උන් දෙන්නෙක් එකම තැනට යයිද කියලා. එත් අපි දක්ෂ ගිය පාරේ යන්න නේ. ඒ හංදා අපි අපේ ටීන්ඒජස්ලා ගේ සංස්කාතිය බකල් කරන්න ඕනා නෑ. නමුත් සමාජ පරිණාමයේදි එයාලාගේ ආර්ථිකය ශක්තිමත් වෙද්දි මේ තත්ත්වය ඇති වේවි කියන එක බැහැර කරන්නත් අපට බෑ.
මිනිස්සු බය වෙන්නේ මිනිස්සුන්ටමයි. එකෙක් මොකාක් හරි කියලා හදා ගත්ත දෙයකට තවත් ඒකෙක් හිස නමනවා…ඔහොම යද්දි තවත් එකෙක් ඉන්නවා හිස නමන්න කැමති නෑ… ඌට ඕනා ඔළුව උස්සාගෙන ඉන්න. එත් මක්කා කොරන්ඩදෑ? මාර දුකයි. අකමැත්තෙන් උනත් ඌ ඔළුව පාත් කරනවා. ඔහොම ඉස්සරහාට යද්දි එකෙක් ඉන්නවා ඌ ඔළුව පාත් කරන්න කැමතිත් නෑ… කරන්නෙත් නෑ.. ඒකට සමාජය මොකක් කිව්වත් ඒකා ගානක් ගන්නේත් නෑ. මේ කතාව කියවාගෙන එද්දි මේ ඔළුව පාත් නොකරපු ඒ එකා විප්ලවකාරයෙක් වගේ පෙනුනට ; සම්මතයට එරෙහි වෙලා දෙමාපියන්ට වැඩිහිටියන්ට සලකන්නනේ නැතිව එයාලාව අතැරලා දාන අයට අපි බනිනවා… මාත් බනිනවා. දන්න තිත්තම වචන ඒ සදහා පාවිච්චි කරලාත් තියෙනවා. ඒත් අද හිතෙනවා. ඒක ඌගේ කැමැත්ත. අසම්මතය සුන්දරයි නිර්දෝෂයි කියලා කියන්න මට ඕනා නෑ. එත් ඒ දෙවල් කවදාවත් සිදු නොවිච්ච දේ නොවේ. ඒක එයාගේ කැමැත්ත. අපේ අය විවිධ හේතු කිය කිය ජිවිතේ අඩක් ගෙවන්නේ අවිවාහකව. තුන්වැනි ලෝකයේ රටවල තරුණ තරුණියෝ අධ්‍යාපනය, මුලික අදියරේ රැකියාවන් සඳහා ජිවිතයේ මුල් දශක දෙකහාමාර තුන ගෙවන්නේ අවිවාහකව. මේ නිසා එයාලගේ දරුවෝ තරුණ වෙද්දි දෙමාපියන් විශාම ගන්නා මහල්ලෝ වෙලා. නමුත් අතීතයේ එහෙම උනේ නෑ. අඩුම තරමේ අපේ අම්මලා තාත්තලා ගාවට එනකම්ම වගේ බොහෝ දුරට අපි තරුණ වෙනකොටත් අපේ අම්මලා තාත්තලා උපයන්නෝ. එයාලාට අපට වඩා ස්ථාවරයක් තියෙනවා. මේ අනුව බලද්දි අපි වයසට යද්දි මේ ප්‍රශ්නේ වර්ධනය වෙන්නත් පුළුවන්. දාසයෙන් දා හතෙන් බැදලා විස්ස විසි එක වෙනකොට දරුවෝ දෙතුන්දෙනෙකුත් හදාපු ඉතිහාසෙක ඉදලායි අපි අද මෙතනට ඇවිත් ඉන්නේ. ඒ කියන්නේ බටහිරට කලින් තමයි පෙරදිග යෞවනයන්ගේ විවාහ ක්‍රමයක් පැවතියේ. ඒක බිඳිලා ගියා. මොකක් නිසාද? ආර්ථික වර්ධනය උදෙසා යෞවන පිරිස් යොමු කිරීම නිසා. අදත් අපේ රටවල ඉගෙන ගන්නේ රුකියවක් කරන්න මිසක් උගත් වෙන්න නෙමේ. ඒ කියන්නේ මේ අද පවතින තත්ත්වය ඇති කරලා තියෙන්නේ මුල්‍යවාදයක් විසින්.
දරු සෙනෙහස කියන්නේ මේ වගේ ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු වෙන දෙයක් නොවේ. ඒක එක්තරා ආකාරයකට කොන්දේසි විරහිත විය යුතුයි. ඒ කියන්නේ හොද දරුවෙක් හදනවා කියන කොන්දේසියෙන් එහා ඉක්මවා යන්නක් නම්.. කෝ එවන් තැනක දරු සෙනෙහසක්. දෙමාපියන්ට සැලකීම කියන්නේත් පැහැදිලිවම කොන්දේසියක් නෙමේ. ඒක අප විසින් කල යුතු අගනා කාර්යයක් මිසක් ඒක කොන්දේසියක් නෙමේ. අපි අම්මලා තාත්තලා උනහම අපේ දරුවන්ට අපි බරක් නොවි උන්ට පාඩුවේ ඉන්න ඉඩ දෙන්න නම් අපි අද මහන්සි වෙලා අපේ අනාගතය හදා ගන්න ඕනා. සමහර අය කසාද බදින්නෙත් වයසට ගියාම කවුරුත් නැති වෙයි කියලා. කැරකෙන ලෝකේ අපි මෙහෙම එකතැන පල් වෙන්නේ කොහොමද?. ආයේ ටිකක් හිතන්න ඕනා.
පිපෙන්න තියෙන මල් බලෙන් පුප්පවලා බුදුන්ට පුදන අපි මේ ගැන ආයේ හිතන්න ඕනා.