Wednesday, March 27, 2013
Saturday, March 23, 2013
එක්තරා සිදුවීමක්…
මේ සිදුවීම ලියා තබන්නේ මට අමතක නොවන සිදුවීමක් නිසාත් මගේ හිතට මෙය වදයක් සේ හැෙඟෙන නිසාත් ඔබට මෙයින් ගත යුත්තක් ඇතැයි මා සිතන නිසාය.
මා දිනක් ඥාති නිවස සිට ගෙදර බලා එන්නට පිටත් උනෙමි. අතර මඟ දුම්රිය මඟක්ද හමුවේ. මෙදින මා ඒ රේල් පාර අසලට යන විට ම වාගේ රේල් පාරේ ගෙට්ටු වසා දැමිණි. කෝච්චිය එන තුරු නොසිට පයින් ආ ගිය අයත් පාපැදිකරුවනුත් යතුරුපැදිකරුවනුත් ගේට්ටුව නොතකා පාර පැන ගියහ. එහෙත් අම්මා කෝච්චි වලට හේතු විරහිත බියක් දැක්වු බැවින් කෝච්චි ගැන මට තිබුණේ හොදම ආකල්පයක් නොවන නිසාත් මා පාර නොපැන කෝච්චිය යන තුරු නැවතී බලා උන්නෙමි… හිතු හිතු තැන කොච්චි වලට බ්රේක් ගහන්නට බැරිය. ගැහැව්වද ඒවා නතර වන්නේ ටිකක් දුර ගොස් ය. මා උන්නේ රේල් පාර ආසන්නයේ ම ය. තවත් වාහන කිහිපයක් ම මා නොයෑම ගැන පුදුම වු වග මට මතක තියේ.
දුම්රිය මාර්ගයන් දෙක මැද ඇති තීරුවේ එක්තරා පුද්ගලයෙක් ඉණට අත් තබගෙන සිටගෙන උන්නේ ය. මා සිතුවේ ම මේ මිනිසා රේල් පාරේ වැඩකරන කම්කරුවෙක් කියාය. කෝච්චිය ආවේ වංගුව පැත්තෙනි. කෝච්චියේ හඬ මතු වෙද්දි ම වාගේ මේ මිනිසා රේල් පාර අතර හිඩැසේ ඉඳගෙන තම කකුළක් පීල්ල මත තැබුවේය. ඔහු සෑහීමකට පත්වන තුරු කකුළ නියමිත ආකාරයට අතින් පවා හැදුවේය… මා බැළුවේ කෝච්චිය දෙසයි.. රියදුරු අනෙකාට සිද්ධිය පෙන්වමින් කර කියා ගත නොහැකි තැනට පත් වනවා මා දුටුවෙමි… ඔවුන්ට කෝච්චිය නතර කර ගන්නට නොහැක.
මා සිද්ධිය වටහා ගත් සැණින් දෙකන් දෝතින් ම වසාගෙන දෑස් පියාගෙන අනෙක් පස හැරුණෙමි… කොච්චිය යන සද්දයට අමතරව ඒ අතරින් දැඩි යමක් උඩින් අඹරාගෙන යකඩ රෝද වලින් පළමුවැන් දෙවැන්න යද්දි අමුතු හඬක් ආ බව මට ඇසිණි… පියවු කණ් වලට ඒ හඬ ඇසුණේ කෙසේදැයි මා නොදන්නා නමුත් මේ සිද්ධිය සත්තකින් ම මා අත්විඳි එකකි. මා අහක බලාගෙන ඒ රේල් පාර පැන යද්දිත් අර මිනිසා කෑ ගැසුවේ වත් කිසිවෙකු ඒ මිනිසා ළඟට ගියේවත් නැත. එහෙත් ටික දුරක් ගොස් නැවත බලද්දි මිනිසුන් වට වී ඉන්නවා මම දුටිමි. එහෙත් කිසිවෙකු ඒ මිනිසා රෝහලට රැගෙන ගියේ නම් නැත. පසුව දැනගත් පරිදි ඒ මිනිසා විසින් මේ සිදුවීමට පෙරාතුව ත්‍රී රෝද රථයකට ගෙවා රෝහලට රැගෙන යන්නට සැලසුමක්ද කර තිබේ. ඒ මිනිසාව රෝහලට ගෙන ගොස් ඇත්තේ එසේ මිස අනතුර වු තැන රොක් වු අය විසින් නම් නොවේ…
ඒ මිනිසා දුප්පත් මිනිසෙකි. කරනා රැකියාව ජිවත් වීමට නොසැහෙන නිසා හිඟා කෑමට සිතා කෝචිචියට කකුළ තබා ඇත. දැන් කකුළක් අහිමි හේ කෝචියේ හිඟාකෑම වෘත්තිය කොට ගෙන වසයි.
මා මේ සිද්ධිය ලියන්නේ සිදුවීම වී බොහෝ කල් ඉක්ම ගිය කලකදිය… මා ඒ මිනිසාව දකිමි. හේ මටද අතපා සිඟමන් යදියි… මට නැඟෙන්නේ කෝපයකි… ඔහු මට භයානක සිතුවිලි කිහිපයක් අත්දකින්නට භයානක මතකයක් සිත රඳන්නට හේතුකාරකයා විය. මා සත පහක් හෝ නොදෙමි. ඒ වන් වු කකුළ් අහිමි අත් අහිමි අයට මා සතයක් හෝ නොදෙන්නේ විටක එසේ දෙන්නට තරම් මට මුදල් නැති නිසාය… බොහෝ විට ඔවුන්ද අර කී ලෙස ව්‍යාපාරික අරමුණින් අතපය අහිමි කරගන්නට ඇතැයි මට සිතෙන නිසාය. මා යනෙන මඟ එවැන්නෝ බොහෝ වෙති. මා ඔවුන් දුටු විට අපුලෙන් ඉවත බලමි. ඒ මට මගේ දෙපා… මගේ අත් වටිනා නිසාය… මගේ අතින්, අත බලේට කෝච්චියට තැබු මිනිසෙකුට කිසි දා වතුරවත් දෙන්නට මට බැරිය… මං මගේ අත්වලට ගරු කරමි… අනෙකෙකුගේ අතක් වුවද එසේය… ඒ අනුව ඒ මිනිසාට ඒ මිනිසාගේ අතට එසේ කරන්නට අයිතියක් නැත.
කවුරුන් හෝ මවක් සිය කුස ඔත් පුතු ගේ පා පහර සිනාවෙන් යුතුව ඉවසන්නට ඇති. කවුරුන් හෝ පියෙක් සිය පුතුගේ පළමු පා සටහන ගැන අභිමානයෙන් බලා ඉඳින්නට ඇති. එවන් වු පාදයක්; තමා ඔසවා ගෙන ගිය හද මියෙන්නට ප්‍රථම, මිය ගිය අරුමය… එවන් මිනිසෙකුගේ වාරුවට හැරමිටියක් වන මිය ගහක් අත්තක් පවා කළ පවට අඬනවා ඇති.
අවයව විකිණිම හා යම් ආකාරයකට නෑ කම් කියන මේ සිදුවීම ඔබට කියන්නේ මිනිසුන් ජිවත් වන්නටය කියා තමන්ගේ ම මස් මාංශ පවා විකුණනා ගන්නා බව තහවුරු කරන්නට පමණක්ම නෙවේ… තවත් එවැනි මිනිසෙක් බිහි කරන්නට අත හිත දෙන්නට සිතෙන්නේ නම් නැවතත් සිතන්න කියා කියන්නටය.
තවත් අසරණයෙක් ජිවිකාව පිණිස මේ ක්‍රමය තෝරා ගන්නේ ඔබ මෙවැන්නෙක්ට දෙන මුදල් දෙස බලා හිඳිමෙන්ය. අහෝ ජිවිත?
පසුව ලියමි;
අදත් කෝච්චියේ යද්දි පෙර දවස දුටුවාට වඩා මෙවන් අත පය නැති අය දැකීමි. ඒ නිසා ලිවීමි…
Wednesday, January 9, 2013
දරුවන් වැඩිහිටියන්ට සැලකිය යුතුයි යන්න රදළ වැඩවසම්වාදි අදහසක් ද?
“අපි පුංචි කාලේ මුන්ට සැලකුවේ කෙහොමද?”
“එක නේනන්ම් අක්කේ, අපි දරුවන්ට බැළුවට දැන් කාලේ හැදෙන දරුවෝ අපිට බලන්නේ නෑ.”
“අපි උන්ව හැදුවේ නොවිඳිනා දුක් විඳලා උන් අපිව බලා ගන්න ඕනා. කර දඩු උස්මහත් වෙලා ගැනු ගත්තට පස්සේ උන්ට අපිව මතක නෑ.”“දරුවෝ හැදුවට වැඩක් නෑ අක්කේ. ඒ සල්ලි වියදම් කරලා අපිට දෙයක් කර ගත්තා නම් මේ දුක නෑ.”
පිපෙන්න තියෙන මල් බලෙන් පුප්පවලා බුදුන්ට පුදන අපි මේ ගැන ආයේ හිතන්න ඕනා.