කුරැටු ගෑ හිත...
Thursday, February 6, 2014
෴ ....යලි ලියන්නට සිතිමි....෴
පහුගිය වර්ෂයකට ආසන්න කාලයක් මං බ්ලොග් කියවීමත් ලිවීමත් අතැර දැමීමි. බ්ලොග් ලියවිල්ල එපා විය. කියවීම වෙහෙසකර විය. මා අන්තර් ජාලය පුරා අයාලායේ යමින් උන්නෙමි. අත්දැකිම් හා අත්විඳිම් රාශියක් සමඟ මා යලි මගේ බ්ලොග් දෙස බලමි. ඒවා පෙරලා මා දෙස බලන්නේ දුක්බරවය. ඒවා දකිද්දි මට දුකය. කුරුටු ගෑ හිතේ ලියන්නට බෙහෝ දේ පිරි ඇත. එත් ඒවා පුද්ගලිකරණය තුළ ලොවට ලෙහා දැක්වීමේ හැකියාවක් මට නැත.
එහෙත් ලියමි... සිතා උන් තරම් සමහර යක්කුන් කළු නැත. සුදුත් නැත. මිනිස්සු පුදුමාකර තරම් දුක අලවි කරන්නෝ වෙති. මවාපාන්නෝ වෙති. මුණු පොතේ වසරක සංචාරයකින් පසු කියමි. එහි තිබෙන පුරුෂොත්තමවාදයත් දුක් විඳින අයියලාගේ චරිතත් ගැන මට වේලාවකට හිනාය. ඇත්තටම අපි සියළු දෙනා දුක් උසුලන්නෝ වෙති. එහෙත් පපඩම් සේ පිම්මුනු කර්ණ රසායන චරිත මවන බාල ගුණ ඇති මිනිසුන් ගැන, ඔවුන්ගෙන් සෑඳුනු බිලියන 7ක් ඉක්මවු ජනකාය ගැන මට නම් අපුලය.
රෝසවාදි නංගිලා ගැනත් මට ඇත්තේ දුකමය. ඔවුන් ඇත්තටම පියරු බබීලාය. එහෙම නැත්නම් තොත්ත බබීලාය. කෙල්ලෝ කෙල්ලන්ට පිළිනොගන්නා මතුරු ඇරයුම් කොල්ලන් කළ විට පිළිගනී. ඔවුන් එක්තරා ආකාරයකට වර්ගවාදි ය. එහෙත් මා හෙටත් අනිද්දාත් එහි සැරසරමි. එයින් බෙහෝ දේ උගත හැකිය. බොහෝ දේ දැකිය හැකිය. මා අහුලාගත් චරිත ලක්ෂණ යොදා කතාවක් පිළියල කරන්නට හැකි නම් කියා සිතේ. එවැන්නකට අවැසි තරම් ඉන්ධන මා සතු වුවත් හැකියාවක් නැතිකම නිසා පසුබට වෙමි. මුහුණු පොත අන්තර්ජාලයේ අත්දැකිම් අහුලන්නෙකුට ඇති හොදම තැනකි. එත් මා වඩාත් විමසිලිමත් වෙමින් උන්නෙමි. නුහුරු නුපුරුදු සැරිසරන්නෝ පහසු ගොදුරු බවට පත්වන කැලෑ නීතිය කොතැනත් පොදුය.
ජිවිතේ කියන්නට අහන්නට ඊට වඩා දේ කොතෙකුත් තිබිණි. පසුගිය වසර පුරා මා දිගින් දිගටම ක්‍රමයෙන් පතුළ අපාය දෙසට ඇදෙනා නිම්නයකට වැටෙමින් උන්නෙමි. දැන් මා ආයෙත් ජිවිතය දිගේ පියමන් කරන්නෙමි. ජිවිතය ආත්මාර්ථකාමි ලෙස වැළගෙන සිටිමි. දුක් අලෙවි කරන්නට මා කැමති නැත. මා විඳි දුක් මගේ මිස වෙන කෙනෙකුට කියා තවා ගන්නට තරම් නොවන දෙයක් යැයි මා සිතමි.
ගැහැනුන්ගේ හදවත් පුදුමාකාර යැයි පිරිමි කියති. මගේ හිත හරි පුදුම වන්නේ මා ගැහැනු ආත්මයක් උපතින් ලද නිසාදැයි නොදනිමි. එහෙත් විටෙක මට මා ගැනම පුදුම සිතේ. වල ගෙඩැලි සමඟ ගෙවෙන ජිවිතේ හිත කුරුටු ගාන්නට මට සිතේ. එය පුදුමයක් නොවුනත් මගේ මේ බ්ලොග් පිටුව දිගින් දිගට ලියන්නට බැරි හුදකලාවකදි මා එය නතර කළා සේම ආයෙත් ලියන්නට හිතෙන්නා වු මේ අවකාශයෙදී... පෙර සේම කිසිවෙකු හෝ කියෙව්වද නැත ද ලියමි. ඒ කුරුටු ගෑ හිත වෙන කිසිවෙකුගේවත් නොවුනද මගේ ම නිසාය.... ෴
Wednesday, March 27, 2013
Subscribe to:
Posts (Atom)